මේ රාස්සිගෙ අව්ව වැටිල තියෙන හැන්දෑව. මම ඉස්කෝලෙ ඇරිල ඇවිත් අඹ ගහේ බැඳල තියෙන ඔංචිල්ලාවෙ ඉඳගෙන 'රොබින් හුඩ්' පොත කියවනවා. ඔන්චිල්ලාව මගෙ ප්‍රියතම තැන. මම ඉඳගෙන ඉන්න තැනට මහපාර, ඒ පාරෙ සැරින් සැරේ යන එන මිනිස්සු පේනවා. ඒ පාරෙ මේ වෙලාවට හැමදාම යන්නෙ එකම මිනිස්සු. ඒ අය මාව දන්නවා. මමත් ඒ අයව දන්නවා.එක පාරටම හැමදාම මේ පාරෙ එන්නෙ නැති, ඒත් මම ආදරේ කරන, මම දකින්න පෙරුම් පුරන මූණු දෙකක් පාරෙ ඈත කොනෙන් මතුවෙනවා. ඈ.... ඒ අපේ චන්දි පුංචි. එයාගෙ එක අතක ලොකු ඇඳුම් බැග් එකක්. අනිත් අතේ චූටි මල්ලියා. එයාට ආදරේට අපි කියන්නෙ 'බම්බ'. මට මගේ ඇස් අදහගන්නත් බෑ. මම පොත ඔංචිල්ලාව උඩ එහෙමම අත ඇරල ඒ ගොල්ලො එන පෙරමඟට දුවනවා.
පුංචි, මල්ලියවත් අරගෙන අපේ ගෙදර ඇවිත්! මට අවුරුදු වගේ. ඒ කාලෙ මට ඕනෙනම් අවුරුදු 14ක් 15ක් ඇති. චන්දි පුංචි මල්ලියවත් අරගෙන අපේ ගෙදරට ආව එක මට අදහගන්නත් බෑ. ඒ කාලෙ මගේ හිත ගොඩාක් ආදරයෙන් බලාගෙන හිටිය දෙයක් තමා ඒ. මම පොඩිකාලෙ ඉඳලම පුංචිට ආදරෙයි. පොඩි කාලෙ අම්මයි අප්පච්චියි වැඩට ගියාම අපිව බලාගත්තෙ පුංචිලයි ආච්චියි මාරුවෙන් මාරුවට. චන්දි පුංචි තමා බාලම ඒ වගේම ලස්සනම. කාලය ගෙවිල ගියා පුංචි කසාද බැඳල අපෙන් ඈත් උනා.
මමයි මගෙ මල්ලියි බම්බ මල්ලියි අපි තුන්දෙනාම සෙල්ලම් කරනවා. බම්බට අවුරුදු 3ක් විතර ඇති. යන්තම් ගොත ගහහ කතාකර කර එයා අපි දෙන්න කරන දේම කරනව. ඒ තමා මගෙ සතුට. ඒ දවස් වල ඉස්කෝලෙ ඇරෙන්නෙ කීයටද කියල මම ඇඟිලි ගැන ගැන ඉන්නවා. පුංචිගෙ පැමිණීම මට සතුටක් උනාට එයා මගෙ ඔලුව අතගාල පොඩි කාලෙ පුරුද්දට ලස්සනට හිනා උනාට ඒ හිනාව අස්සෙ මොකද්දෝ දෙයක් තියනව කියල මම දැනගත්තෙ ටික දවසකින්. එයා අපෙ අම්මත් එක්ක කතා කරනව ඇහුන. එයා බැඳපු කෙනා දැන් වෙනස් වෙලාලු. එයාට කරදර කරනවලු. අහේතුක විදිහට සැක කරනවලු, එයා එයාට මූණ දෙන්න උන අමිහිරි අත්දැකීම්, චෝදනා කිරීම්, පහර දීම් ගැන හෙමීට සංයමයෙන් අම්මත් එක්ක කියනව. අම්මත් හූ මිටි දි දී අහගෙන ඉන්නව.
මේ වගේ දෙවල් ඇහිල නුහුරු නුපුරුදු පුංචි මගේ හිතට දැනෙන්නෙ වේදනාවක්. මම හිතනව. 'පුංචිට පුලුවන්නෙ ඒ මනුස්සයව අත ඇරල දාල අපි ලඟට එන්න'. අපි අපිට පුලුවන් විදිහට ඒ දෙන්නව බලාගන්නවනෙ' 'ඇයි ගුටි කන්නෙ?' 'ඇයි එයා එහෙම වේදනා විඳින්නෙ?'. එයා එහෙම අඬල දුක කියල ආයෙමත් බම්බවත් අරගෙන යනවා තමන්ගෙ මනුස්සය ලඟට. විටෙන් විට එයා අපිට කෝල් කරනවා. මනුස්සය වෙනස් වෙලා නෑලු. අපි එයාට බල කරනව එයාව අතාරින්න කියල 'තමන්ට ආදරේ කියල තමන්ව ලංකරගෙන ටික කාලෙකින් චෝදනා කරන, තමන්ව ඈත් කරන ඒ මනුස්සයව හිතෙන් පන්නල දාන්න පුංචිට බැරි ඇයි.' මට ආයෙමත් හිතෙනවා. ඒත් එයා දුක් විඳගෙන හැම අවමානයක්ම විඳගෙන ඒ මනුස්සයත් එක්ක ඉන්නව.
ඒත් මගෙ පුංචි හිතට එදා තේරුම් ගන්න බැරි උන දේ අද මම තේරුම් ගන්නව මගේ ජීවිතය හරහා. ඒ තමා ආදරය. තමන් කෙනෙකුට ආදරය කරන්න පටන් ගත්තට පස්සෙ කවදාවත් ඒ කෙනාව අත අරින්න බෑ.
ඒ කෙනා මුල දි මට ලංවෙනවා. ඔව් ලංවෙන්න ඕනෙ උපරිමයටම ලං වෙනවා.මට ලංවීම කියන්නෙ ඒ කෙනාට අවදානම් දෙයක් වෙනවා. ඒත් එයා ඒ අවදානම ගන්නවා. ඒ එයා මට ආදරේ කරන නිසා. ඒත් ටික කාලෙකින් ඒ කෙනා මාව ඈත් කරනවා. ටිකෙන් ටික ඈත් කරනවා. කිසිඳු හේතුවක් නැතුව. මාව ඈත් කරන්න එපා කියල මම හිඟන්නියක් වගේ ඉල්ලනවා. ඒත් එයා මාව ටිකෙන් ටික ඈත් කරනවා. මම දැන් කරන්න ඕනෙ මොකද්ද කියල මම දන්නෙ නෑ. මම දැන් එයාට ආදරේ නොකර ඉන්න ඕනෙද? එහෙම කොහොමද කරන්නෙ? හරියට ස්විච් එකක් ඔන් ඔෆ්ෆ් කරනවා වගේ ආදරේ කියන දේ හිතෙන හිතෙන වෙලාවට ඔන් ඔෆ්ෆ් කරන්න පුලුවන්ද? මුලින් මගෙ ආදරේ වාසනාවක් කියපු එයාම මාව ඈත් කරනව. මට රිදෙනව. වේදනාව නිසා මාව මැරෙයි කියල මට හිතෙනව. මම අඬනව. කාටත් හොරෙන් අඬනව. අර බොලඳ නවකතාවල ඉන්න කෙල්ලෙක් වගේ මම අඬනවා. 'බොලඳ වෙන්න එපා. ශක්තිමත් වෙයන්' මගෙ හිත මට කියනව. 'හැමදේම අමතක කරපන්. ඒක එක දෙයක් විතරයි. සමහර විට උඹ පෙර ආත්මෙක එයාට මෙහෙම කරන්න ඇති'.
අනිත් කෙනා කොච්චර නපුරු උනත් තමන් ඇත්තටම ඒ කෙනාට ආදරය කරනව නම් ඒ ආදරය කවදාවත් මියයන්නෙ නෑ. තමන්ට ඕනෙ උනත් ඒ කෙනාව අමතක කරන්න බෑ. හැම දවසකම ඒ කෙනාව බලාපොරොත්තු වෙනවා. නො එන බව දන්නව උනත් සෙවනැල්ලක්වත් බලාපොරොත්තු වෙනවා. ඒ බලාපොරොත්තුව ඒ කෙනාව අයිති කරගන්න නෙවේ. පොඩි වචනයක්. පොඩි සැලකිල්ලක්. ඉස්සර වගේ....
මම නිහඬ වෙනවා. වචනයක්වත් කතා නොකර මම නිහඬ වෙනවා. මට අයිති නැති කෙනෙක්! මට කියන්න දෙයක් නෑ.ඒත් මේ ඈත් වීම සදාකාලික වේදනාවක්. ඔව් මේ තමා ආදරය.....කඳුලු අස්සෙන් මට චන්දි පුංචිගෙ මූණ පේනවා.....