Sunday 3 April 2011

මම තාම අසරණයි මගෙ අම්මේ...




මට මතකයි මගෙ අම්ම බත් හුළු තුන හතරක් පිගානෙ තියාගෙන මට කවනවා ඒ අතරෙ  පාරෙ යන වාහන පෙන්නනවා."මගේ පුතත් බත් කාලා ලොකු වෙලා හොදට ඉගෙන ගෙන ලොකු මහත්තයෙක් වෙලා අර වගේ කාර් එකකින් එන්න මාව බලන්න"...ජීවිතෙ මෙච්චර දුර එන්න පන්නරය දුන්නෙ එදා ඒ කියපු වචන ටික. අම්ම ඒ ටික කිව්වෙ එයාට කාර් එකක යන්න තියන උවමනාවට නෙවෙයි. ඉගෙනීම විතරක් දායාද කරගෙන ඉපදුන එයාගෙ පුතාගෙ අනාගතේ ස්ථාවර වෙනවා දකින්න තිබුන උවමනාවටසල්ලිවත් බලයවත්  එයාගෙ පුතාට දෙන්න එයා ලග තිබුනෙ නෑ. එයාට දෙන්න පුලුවන් උනේ බලාපොරොත්තු විතරයි. ඒ බලාපොරොත්තු වල හය්යෙන් මම දහඩිය කදුලු හෙලුවා එයාගෙ හීනයට පන දෙන්න... වෛද්‍යවරයෙක් වෙන්න ඉගෙන ගන්න  ලකුණු පොඩ්ඩක් මදි උනා.ඒත් මම ඉගෙන ගත්තා... මටත් පුලුවන් මේ ලෝකෙ දියුණුවට යමක් කරන්න කියලා උපධියක් අරගෙන මම ඔප්පු කරා..

අවුරුදු විසිපහකට කලින් මට බත් කැව්ව ජනේලය අද්දරට වෙලා එයා අදත් බලාගෙන ඉන්නවා මම කාර් එකකින් එනකන්..මට සමාවෙයන් මගේ අම්මේ කාර් එකකින් නෙවෙ බස් එකෙන්වත් උඹ බලන්න එන්න මගේ අතේ සත පහක් නෑ...මම තාම රස්සා පෝලිමේ........

Monday 10 January 2011


අවිනිශ්චිතතාවය..........
මට දරාගන්න අමාරුම හැඟීම තමයි අවිනිශ්චිතතාවය.....ඒක හරියට මාව නිමක් නොපෙනෙන කන්දකින් පහලට වැටෙනව වගේ හැඟීමක්. පහළට වැටීම කොතනින් නිමාවෙයි කොච්චර කාලයක් ගත වෙයි ප්රතිඵලය මගේ ධෛර්‍‍යය සුන්නත්දූලි කරල දායි කියලා කියන්න බෑ (සමහර විට මාව නැවත සුවපත් වෙන්න සෑහෙන කාලයක් යයි.)

ආදරේ ගැන මට යමක් කමක් තේරුම් ගන්න පුලුවන් කාලෙ මම අවිනිශ්චිතතාවයකින් හිටියෙ මට මගේ ජිවිත ගමන යන්න කොහොම කෙනෙක් හමුවෙයිද කියලා. එත් අවිනිශ්චිතාවය කෙළවර උනේ මම හිතුවෙම නැති සුබදායක විදිහට.......

ඒත් දැන් තවත් අවිනිශ්චිතතාවයක් ජීවිතේට ලඟා වෙලා....අවුරුදු 17ක් 18ක් තිස්සේ මේ අසීමාන්තික ලෝකයේ තමන්ටම කියලා පුංචි ඉඩක් වෙන්කරගන්න කරපු කැපකිරීම් හෙලපු කඳුලු දහඩියට වටිනාකමක් ගන්න බැරි වෙලා..තමන් සන්තකව විතරක් නෙවේ අම්මල තාත්තල සන්තක වූ සියලුම සම්පත් යොදවලා වැපිරූ ජීවිතය නම් කෙතේ අස්වැන්න නෙලාගන්න බැරි වෙලා.... සාරෙට හැඳුනු අධ්යාපනය නැමැති කෙතෙන් අහුරක් රටේ දියුණුවට යොදවන්න අවස්ථාවක් ලැබෙන්නේ  කවද කියන අවිනිශ්චිතතාවයෙන්,  මම විතරක් නෙවෙයි කුඹුර අස්වද්දන්න දායකත්වය දුන්නු දිහා කුතුහලයෙන් බලා උන්නු හැමෝම බලාගෙන ඉන්නවා.( ඒක තමා උහුලගන්නම බැරි.)

තමන් වැපුරූ අස්වැන්නට කුමක් හෝ වටිනාකමක් නෙවේ ඕන කරන්නෙ නියම වටිනාකම (පොඩි වටිනාක්මක් දැනට ලැබිලා තිබුනට , මම රෑ නිදිමරාගෙන පාඩම් කරන අතරවාර වල හීන මවපු වටිනාකම නෙවෙයි.)

කවුරුහරි කියන්න පුලුවන් උත්සාහය තමයි මේකට එකම විසඳුම කියල.....ඔව් සහතික ඇත්ත! ඒත් උත්සහය කාගෙ හරි හෑල්ලුවට ලක්වෙනව නම්! උත්සහයට ලැබිය යුතු ගෞරවය කුමක් හෝ බලපෑමක්(පෙනෙන හෝ නොපෙනෙන:නොපෙනෙන බලවේග පෙනෙන ඒව තරම් නපුරු නෑ මම හිතන්නෙ.) නිසා ඈත් වෙලා යනවනම්එතකොට මොකද කරන්න ඕන...ඔව්, ඒක තමයි මම මේ දවස් වල කරමින් ඉන්නෙ.....තවත්. තව තවත් උත්සහ කිරීම..........

*සමාවෙන්න  අක්ෂර වින්‍යාසය වැරදි  වලට....ඒවා Unicode copy paste කරන විට උන දේවල් මම හිතන්නේ