Wednesday 16 April 2014

කුරුටු ගීයක්!


අහම්බෙන් මුණ ගැහුණා, ඔහුට ලස්සන කොළයක් අන්සතු... නොසිතමින් දුර දිග ඇන්දා ඔහු සිතුවම් කොළය මත සිතු සිතූ ලෙස...

කොළය සිතුවා, ඔහුගේ සිතුවම් ආදරණීය බව… ඉන්පසු කොළයට උවමනා උනේ කොහේ හෝ තැනක රැඳී සිටීමට ඔහුගේ ජීවිතයේ කාටවත් නොපෙනී... ඔහු මෙතෙක් ඇඳ තිබූ සිතුවමට බාධාවක් නොවී... කොළය කිසිසේත් පැතුවෙ නැහැ රාමුකල සිතුවමක් වී ඔහුගේ ජීවිතයේ රැඳී සිටීමට... ඒ කොළය දන්නා නිසා එයට කිසිසේත්ම ඉඩ නැති බව...

ටිකෙන් ටික කාලය ගෙවෙද්දී ඔහුට දැනුනා කොළයෙන් තම ජීවිතයට පලක් නොවන බව... කිසිවක් නොපවසමින් ඔහු ඇද දැමුවා, තමා විසින්ම සිත්තම් කල කොළය කුණු බාල්දියට... කොළය බැගෑපත් උනා... එහෙත් ඔහුට කොළය කොළයක්ම පමණයි... කොළය දැන් පාවිච්චි කල කොළයක් පමණක් නිසා කොළයේ කැමැත්ත අකමැත්ත නොවටිනා දෙයක්ම පමණයි... කොළය නිහඬව බලා ඉන්නව සිදු උන දේ කුමක්ද යන්න තේරුම් ගත් නොහැකිව...  හැර කොළයක් වෙන මොනවා කරන්න ද…


අනේ ඔහු මොහොතකට සිතුවා නම් මේ කොළයක් නොව හදවතක් ඇති මිනිස් දුවක බව...



(Image: http://st.depositphotos.com/1710964/2367/v/950/depositphotos_23674147-Scrapbook-retro-design-with-grunge-paper-background-dried-flower-rose-vintage-wallpaper-pattern-sketch-frame-old-ticket-with-text-Love-Story.jpg)

Thursday 26 December 2013

ආදරේ කියන්නෙ මොකද්ද???



මේ රාස්සිගෙ අව්ව වැටිල තියෙන හැන්දෑව. මම ඉස්කෝලෙ ඇරිල ඇවිත් අඹ ගහේ බැඳල තියෙන ඔංචිල්ලාවෙ ඉඳගෙන 'රොබින් හුඩ්' පොත කියවනවා. ඔන්චිල්ලාව මගෙ ප්‍රියතම තැන.  මම ඉඳගෙන ඉන්න තැනට මහපාර, ඒ පාරෙ සැරින් සැරේ යන එන මිනිස්සු පේනවා. ඒ පාරෙ මේ වෙලාවට හැමදාම යන්නෙ එකම මිනිස්සු. ඒ අය මාව දන්නවා. මමත් ඒ අයව දන්නවා.එක පාරටම හැමදාම මේ පාරෙ එන්නෙ නැති, ඒත් මම ආදරේ කරන, මම දකින්න පෙරුම් පුරන මූණු දෙකක් පාරෙ ඈත කොනෙන් මතුවෙනවා. ඈ.... ඒ අපේ චන්දි පුංචි. එයාගෙ එක අතක ලොකු ඇඳුම් බැග් එකක්. අනිත් අතේ චූටි මල්ලියා. එයාට ආදරේට අපි කියන්නෙ 'බම්බ'. මට මගේ ඇස් අදහගන්නත් බෑ. මම පොත ඔංචිල්ලාව උඩ එහෙමම අත ඇරල ඒ ගොල්ලො එන පෙරමඟට දුවනවා.

පුංචි, මල්ලියවත් අරගෙන අපේ ගෙදර ඇවිත්! මට අවුරුදු වගේ. ඒ කාලෙ මට ඕනෙනම් අවුරුදු 14ක් 15ක් ඇති. චන්දි පුංචි මල්ලියවත් අරගෙන අපේ ගෙදරට ආව එක මට අදහගන්නත් බෑ. ඒ කාලෙ මගේ හිත ගොඩාක් ආදරයෙන් බලාගෙන හිටිය දෙයක් තමා ඒ. මම පොඩිකාලෙ ඉඳලම පුංචිට ආදරෙයි. පොඩි කාලෙ අම්මයි අප්පච්චියි වැඩට ගියාම අපිව බලාගත්තෙ පුංචිලයි ආච්චියි මාරුවෙන් මාරුවට. චන්දි පුංචි තමා බාලම ඒ වගේම ලස්සනම. කාලය ගෙවිල ගියා පුංචි කසාද බැඳල අපෙන් ඈත් උනා.


 මමයි මගෙ මල්ලියි බම්බ මල්ලියි අපි තුන්දෙනාම සෙල්ලම් කරනවා. බම්බට අවුරුදු 3ක් විතර ඇති. යන්තම් ගොත ගහහ කතාකර කර එයා අපි දෙන්න කරන දේම කරනව. ඒ තමා මගෙ සතුට. ඒ දවස් වල ඉස්කෝලෙ ඇරෙන්නෙ කීයටද කියල මම ඇඟිලි ගැන ගැන ඉන්නවා. පුංචිගෙ පැමිණීම මට සතුටක් උනාට එයා මගෙ ඔලුව අතගාල පොඩි කාලෙ පුරුද්දට ලස්සනට හිනා උනාට ඒ හිනාව අස්සෙ මොකද්දෝ දෙයක් තියනව කියල මම දැනගත්තෙ ටික දවසකින්. එයා අපෙ අම්මත් එක්ක කතා කරනව ඇහුන. එයා බැඳපු කෙනා  දැන් වෙනස් වෙලාලු. එයාට කරදර කරනවලු. අහේතුක විදිහට සැක කරනවලු, එයා එයාට මූණ දෙන්න උන අමිහිරි අත්දැකීම්, චෝදනා කිරීම්, පහර දීම් ගැන හෙමීට සංයමයෙන් අම්මත් එක්ක කියනව. අම්මත් හූ මිටි දි දී අහගෙන ඉන්නව.

මේ වගේ දෙවල් ඇහිල නුහුරු නුපුරුදු පුංචි මගේ හිතට දැනෙන්නෙ වේදනාවක්. මම හිතනව. 'පුංචිට පුලුවන්නෙ ඒ මනුස්සයව අත ඇරල දාල අපි ලඟට එන්න'. අපි අපිට පුලුවන් විදිහට ඒ දෙන්නව බලාගන්නවනෙ' 'ඇයි ගුටි කන්නෙ?' 'ඇයි එයා එහෙම වේදනා විඳින්නෙ?'. එයා එහෙම අඬල දුක කියල ආයෙමත් බම්බවත් අරගෙන යනවා තමන්ගෙ මනුස්සය ලඟට. විටෙන් විට එයා අපිට කෝල් කරනවා. මනුස්සය වෙනස් වෙලා නෑලු. අපි එයාට බල කරනව එයාව අතාරින්න කියල 'තමන්ට ආදරේ කියල තමන්ව ලංකරගෙන ටික කාලෙකින් චෝදනා කරන, තමන්ව ඈත් කරන ඒ මනුස්සයව හිතෙන් පන්නල දාන්න පුංචිට බැරි ඇයි.' මට ආයෙමත් හිතෙනවා. ඒත් එයා දුක් විඳගෙන හැම අවමානයක්ම විඳගෙන ඒ මනුස්සයත් එක්ක ඉන්නව.

ඒත්  මගෙ පුංචි හිතට එදා තේරුම් ගන්න බැරි උන දේ අද මම තේරුම් ගන්නව මගේ ජීවිතය හරහා. ඒ තමා ආදරය.  තමන් කෙනෙකුට ආදරය කරන්න පටන් ගත්තට පස්සෙ කවදාවත් ඒ කෙනාව අත අරින්න බෑ.
ඒ කෙනා මුල දි මට ලංවෙනවා. ඔව් ලංවෙන්න ඕනෙ උපරිමයටම ලං වෙනවා.මට ලංවීම කියන්නෙ ඒ කෙනාට අවදානම් දෙයක් වෙනවා. ඒත් එයා ඒ අවදානම ගන්නවා. ඒ එයා මට ආදරේ කරන නිසා. ඒත් ටික කාලෙකින් ඒ කෙනා මාව ඈත් කරනවා. ටිකෙන් ටික ඈත් කරනවා. කිසිඳු හේතුවක් නැතුව. මාව ඈත් කරන්න එපා කියල මම හිඟන්නියක් වගේ ඉල්ලනවා. ඒත් එයා මාව ටිකෙන් ටික ඈත් කරනවා. මම දැන් කරන්න ඕනෙ මොකද්ද කියල මම දන්නෙ නෑ. මම දැන් එයාට ආදරේ නොකර ඉන්න ඕනෙද? එහෙම කොහොමද කරන්නෙ? හරියට ස්විච් එකක් ඔන් ඔෆ්ෆ් කරනවා වගේ ආදරේ කියන දේ හිතෙන හිතෙන වෙලාවට ඔන් ඔෆ්ෆ් කරන්න පුලුවන්ද? මුලින් මගෙ ආදරේ වාසනාවක් කියපු එයාම මාව ඈත් කරනව. මට රිදෙනව. වේදනාව නිසා මාව මැරෙයි කියල මට හිතෙනව. මම අඬනව. කාටත් හොරෙන් අඬනව. අර බොලඳ නවකතාවල ඉන්න කෙල්ලෙක් වගේ මම අඬනවා. 'බොලඳ වෙන්න එපා. ශක්තිමත් වෙයන්' මගෙ හිත මට කියනව. 'හැමදේම අමතක කරපන්. ඒක එක දෙයක් විතරයි. සමහර විට උඹ පෙර ආත්මෙක එයාට මෙහෙම කරන්න ඇති'. 

අනිත් කෙනා කොච්චර නපුරු උනත් තමන් ඇත්තටම ඒ කෙනාට ආදරය කරනව නම් ඒ ආදරය කවදාවත් මියයන්නෙ නෑ. තමන්ට ඕනෙ උනත් ඒ කෙනාව අමතක කරන්න බෑ. හැම දවසකම ඒ කෙනාව බලාපොරොත්තු වෙනවා. නො එන බව දන්නව උනත් සෙවනැල්ලක්වත් බලාපොරොත්තු වෙනවා.  ඒ බලාපොරොත්තුව ඒ කෙනාව අයිති කරගන්න නෙවේ. පොඩි වචනයක්. පොඩි සැලකිල්ලක්. ඉස්සර වගේ....

මම නිහඬ වෙනවා. වචනයක්වත් කතා නොකර මම නිහඬ වෙනවා. මට අයිති නැති කෙනෙක්! මට කියන්න දෙයක් නෑ.ඒත් මේ ඈත් වීම සදාකාලික වේදනාවක්. ඔව් මේ තමා ආදරය.....කඳුලු අස්සෙන් මට චන්දි පුංචිගෙ මූණ පේනවා.....

Friday 1 November 2013

නිහඬ ඉකිබිඳුම!


වස්සානයට පෙරාතුව ගැබ්බරව වැලපෙනා

අසනි දිලෙනා කළු අහස් ගැබ සේ

ඝන අන්ධකාරයක යන්තමින් නලියමින්

දිලෙන්නට පණ ගසන දුබල පහන් සිල සේ

වැටෙන්නට උරුම නැති කඳුලු වැල් ගිලගන්න

මළාණික ඇස් පියන් තටු සේ

නුඹට මළගමක්  වූ මට සදාකලික වූ

සොඳුරු ස්මරණ රැඳි අතීතය සේ

ගිලිහෙන්නෙමි,

සුභ පැතුම් පමණක්ම ඉතිරි කොට

සසර අතරමඟ හමු වූ නිහඬ සඳ කිඳුරිය සේ.....

(14.08.2013)

Sunday 3 April 2011

මම තාම අසරණයි මගෙ අම්මේ...




මට මතකයි මගෙ අම්ම බත් හුළු තුන හතරක් පිගානෙ තියාගෙන මට කවනවා ඒ අතරෙ  පාරෙ යන වාහන පෙන්නනවා."මගේ පුතත් බත් කාලා ලොකු වෙලා හොදට ඉගෙන ගෙන ලොකු මහත්තයෙක් වෙලා අර වගේ කාර් එකකින් එන්න මාව බලන්න"...ජීවිතෙ මෙච්චර දුර එන්න පන්නරය දුන්නෙ එදා ඒ කියපු වචන ටික. අම්ම ඒ ටික කිව්වෙ එයාට කාර් එකක යන්න තියන උවමනාවට නෙවෙයි. ඉගෙනීම විතරක් දායාද කරගෙන ඉපදුන එයාගෙ පුතාගෙ අනාගතේ ස්ථාවර වෙනවා දකින්න තිබුන උවමනාවටසල්ලිවත් බලයවත්  එයාගෙ පුතාට දෙන්න එයා ලග තිබුනෙ නෑ. එයාට දෙන්න පුලුවන් උනේ බලාපොරොත්තු විතරයි. ඒ බලාපොරොත්තු වල හය්යෙන් මම දහඩිය කදුලු හෙලුවා එයාගෙ හීනයට පන දෙන්න... වෛද්‍යවරයෙක් වෙන්න ඉගෙන ගන්න  ලකුණු පොඩ්ඩක් මදි උනා.ඒත් මම ඉගෙන ගත්තා... මටත් පුලුවන් මේ ලෝකෙ දියුණුවට යමක් කරන්න කියලා උපධියක් අරගෙන මම ඔප්පු කරා..

අවුරුදු විසිපහකට කලින් මට බත් කැව්ව ජනේලය අද්දරට වෙලා එයා අදත් බලාගෙන ඉන්නවා මම කාර් එකකින් එනකන්..මට සමාවෙයන් මගේ අම්මේ කාර් එකකින් නෙවෙ බස් එකෙන්වත් උඹ බලන්න එන්න මගේ අතේ සත පහක් නෑ...මම තාම රස්සා පෝලිමේ........

Monday 10 January 2011


අවිනිශ්චිතතාවය..........
මට දරාගන්න අමාරුම හැඟීම තමයි අවිනිශ්චිතතාවය.....ඒක හරියට මාව නිමක් නොපෙනෙන කන්දකින් පහලට වැටෙනව වගේ හැඟීමක්. පහළට වැටීම කොතනින් නිමාවෙයි කොච්චර කාලයක් ගත වෙයි ප්රතිඵලය මගේ ධෛර්‍‍යය සුන්නත්දූලි කරල දායි කියලා කියන්න බෑ (සමහර විට මාව නැවත සුවපත් වෙන්න සෑහෙන කාලයක් යයි.)

ආදරේ ගැන මට යමක් කමක් තේරුම් ගන්න පුලුවන් කාලෙ මම අවිනිශ්චිතතාවයකින් හිටියෙ මට මගේ ජිවිත ගමන යන්න කොහොම කෙනෙක් හමුවෙයිද කියලා. එත් අවිනිශ්චිතාවය කෙළවර උනේ මම හිතුවෙම නැති සුබදායක විදිහට.......

ඒත් දැන් තවත් අවිනිශ්චිතතාවයක් ජීවිතේට ලඟා වෙලා....අවුරුදු 17ක් 18ක් තිස්සේ මේ අසීමාන්තික ලෝකයේ තමන්ටම කියලා පුංචි ඉඩක් වෙන්කරගන්න කරපු කැපකිරීම් හෙලපු කඳුලු දහඩියට වටිනාකමක් ගන්න බැරි වෙලා..තමන් සන්තකව විතරක් නෙවේ අම්මල තාත්තල සන්තක වූ සියලුම සම්පත් යොදවලා වැපිරූ ජීවිතය නම් කෙතේ අස්වැන්න නෙලාගන්න බැරි වෙලා.... සාරෙට හැඳුනු අධ්යාපනය නැමැති කෙතෙන් අහුරක් රටේ දියුණුවට යොදවන්න අවස්ථාවක් ලැබෙන්නේ  කවද කියන අවිනිශ්චිතතාවයෙන්,  මම විතරක් නෙවෙයි කුඹුර අස්වද්දන්න දායකත්වය දුන්නු දිහා කුතුහලයෙන් බලා උන්නු හැමෝම බලාගෙන ඉන්නවා.( ඒක තමා උහුලගන්නම බැරි.)

තමන් වැපුරූ අස්වැන්නට කුමක් හෝ වටිනාකමක් නෙවේ ඕන කරන්නෙ නියම වටිනාකම (පොඩි වටිනාක්මක් දැනට ලැබිලා තිබුනට , මම රෑ නිදිමරාගෙන පාඩම් කරන අතරවාර වල හීන මවපු වටිනාකම නෙවෙයි.)

කවුරුහරි කියන්න පුලුවන් උත්සාහය තමයි මේකට එකම විසඳුම කියල.....ඔව් සහතික ඇත්ත! ඒත් උත්සහය කාගෙ හරි හෑල්ලුවට ලක්වෙනව නම්! උත්සහයට ලැබිය යුතු ගෞරවය කුමක් හෝ බලපෑමක්(පෙනෙන හෝ නොපෙනෙන:නොපෙනෙන බලවේග පෙනෙන ඒව තරම් නපුරු නෑ මම හිතන්නෙ.) නිසා ඈත් වෙලා යනවනම්එතකොට මොකද කරන්න ඕන...ඔව්, ඒක තමයි මම මේ දවස් වල කරමින් ඉන්නෙ.....තවත්. තව තවත් උත්සහ කිරීම..........

*සමාවෙන්න  අක්ෂර වින්‍යාසය වැරදි  වලට....ඒවා Unicode copy paste කරන විට උන දේවල් මම හිතන්නේ

Thursday 9 December 2010

මං ගැන.....


ඔන්න මම  ඔෆිස් එකේ computer එක ඉස්සරහ හරි බරි ගැහිල වාඩි උනා හා හා පුරා කියල මගේ පළවෙනි post එක ලියන්න.

හරි හමන් යමක් ලියන්න ඉස්සර වෙලා මං කවුද කින්ද මන්ද කියල ලිව්වොත් හොඳයි කියලා හිතුනා.මොකද මම ලියන දෙවල් කියවනකොට මම මොන වගේ වටපිටාවක ඉඳගෙනද මගේ අදහස් ලියන්නෙ කියන්නෙ කියල කියවන අය දැනගන්න එක හොඳයිනෙ.......

මම නුවර පළාතෙ කෙනෙක්. ඒකෙත් හැටි කියන්නෙ මට නුවරින් පිට ජීවිතයක් තිබුනෙම නෑ වගේ...ඉපදුනේ නුවර....පාසල් ගියෙ නුවර.....දෛවයේ හැටි කියන්නෙ අන්තිමට තේරුනෙත් පේරාදෙණිය විශ්ව විද්යාලයට……

විශ්ව විද්යාලයෙදිම තමයි මගෙ ජීවන සහකරුව මුණගැහුනෙත්.වැඩේ කියන්නෙ එයත් නුවර.කොහොමින් කොහොමින් හරි campus එකේ කෘෂිකර්ම පීඨයේ අවුරුදු 4 ගත කරල(2008 අවුරුද්දෙ තමා අර උපාධිය කියන එක ගත්තේ) අපි දෙන්න එක වහලක් යටට උනා(2010 දී).දැන් පදිංචියත් නුවර. ඔන්න ඔවා තමා මගෙ විස්තර.දැන් ඉතින් මේ පැත්තෙ ගොඩ වැදෙන සමහර   ඈයො මාව අදුරගන්නත් ඇති මේ අහවලා නේද කියල.

එහෙනම් මං ගැන ලියපු post එකත් ඉවරයි.ඊළඟ දවසෙ අර ඉස්සරවෙලා කිව්ව වගෙ හරි හමන් දෙයක් ලියන්නම්.

Friday 26 November 2010

හම්මේ තියන සතුටක්!!

ඔන්න මගේ පුංචි බ්ලොග් කාමරෙත් බ්ලොග් රාජධානියට හෙවත් සින්ඩිකේටරයට ඇතුලත් කරගෙන........හිතේ තියන සතුට නම් කියල නිම කරන්න බෑ....එත් මේ වැඩ රාජකාරි අස්සෙ හරියට ඒ සතුට සමරන්න බෑනේ........එත් පණිවිඩය දැක්ක ගමන් බ්ලොග් එකට ආවෙ පුංචියට හරි යමක් ලියල තියල යන්න.

'මට දැන් දැනෙනවා මා ජීවත් වන බවක්
මගේ වචන වලට  

ජිවත් වෙන්නටත්......අතුපතර  විහිදා වැඩෙන්නටත්....... පරිණත වෙන්නටත්.....

හුලගේ පාවී ගිය මගේ සිතුවිලි වලට
ඉසිඹුලන්නටත්....... නවාතැන් පොලක් හමුවී ඇති බවක්'